Tuesday, June 11, 2013

== අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ== == එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ ==



( කරුණාකර හැකිනම් කියැවීමට පෙර කපුගේ මහතාගේ මේ ගීතයට සවන් දනේන )
.
---"ඒ වීරෙ ඇතත්ද බං උඹලගෙ අයිය එනව කියන්නෙ අවුරුද්දට ......"
( සුනිමල් ඇසුවේ පීල්ල ලගදීය. අයියලා අවුරුද්දට ගමේ එන බව පැතිරී හමාරය... මිට වසර 5කට පමණ පෙර අප්පච්චි එක්කලා තරහ වී ගෙදරින් ගිය අයියා ටවුමේදීම විවාහ වී දැන් පොඩි උන් දෙ‍න්නෙක්ගේම තාත්තෙකි.. කිසි දිනක උන් දැක නැතත් මා උන්ගේ පොඩි අප්පච්චීය... ඒ ගැන සිතනා විටත් දැනෙනුයේ පුදුමාකාර සතුටකි...
අයියාට අප්පච්චි ලියා දුන් ඉඩම් කෑල්ල විකුණා දැමීම නසා ඇති වූ ආරවුලක් දුරදිග යෑම අයියාගෙ පිටමං වීමට හේතු විය..
එක අතකට අප්පච්චීත් හරිය... මේවා පරම්පරා ඉඩම්ය.. දුන්නේ කවදා හෝ දරුමල්ලන් සමග පදිංචි වීමටය.. නැතිනම් දරුවෙකුට දීමටය.. සල්ලි වියදම් කර ඉගැනුනවේ අයියාටය.. ඒ දවස් වල සිටම අප්පච්චි ආදරේ අයියාටය.. අයියට වුව මනා කලේ මේවා විකිුනා ටවුමේ පදිංචියට යෑමටය .. හොද හොද බිස්නස් කිරීමටය.. අප්පච්චගේ කුඹුරු අ‍‍දේටවත් වැපිරීමට කැමති නොවුනි...
සිද්ධ වුනේ නරකකි.. අයියා හොරෙන්ම විකුනා දමා ටවුමේ පදිංචියට ගියේය.. අප්පච්චිගේ මරණයටවත් ගමට ආවේ නැත.. ගමේ උන් මොනවා කියූවත් මම අයියාට එවේලේද නොබැන්නෙමි.. ඒ මා ආදරය බැවිනි...
අනිත් අතට අයියා ද හරිය - ගමේ ඉඩම් අක්කර ගනන් තියාගෙන කන්ඩද ? මේවා තිබුන කියල නඩත්තුව විතරයි.. පරම්පාව කියල මොනවද අපිට තියේනනෙ මේ ඉඩම් ඇරුනාම.. ඉඩම් ඉඩම් කියනව අඩුගානෙ මේ කැලේ නැතිව ටවුමෙන් පර්චසයක් වත් තිබුනනම් මේ අක්කර 30ට වඩා ‍කොච්චර වටිනවද ? -- ඒ ඒ දවස්වල අයියාගේ තර්කය..
තාත්තා නිතරම පැවසුවේ පරම්පරාවෙන් එන දේ රැකිය යුතු බවය..  පරම්පරා නීතියක් තිබේ .. ඒ නම්..
" පලමු පරම්පරාව මහන්සි වී උපයා ගනී - දෙවැනි පරම්පරාව එය භුක්ති විදිති - තෙවැනි පරම්පරාව සියලු දේ නැති කර දමති "
ඉන් අනතුරුව නැවත මේ ක්‍රියාවලිය ඇරඹේ...
අප්පච්චි නිතරම කිවුවේ අයියාද මාද මේ තුන්වෙනි පරපුර බවය. අයියා සියල්ල විකුනා දමා ගියේය.. මම පාසල් නොගියෙමි...මම නම් කලේ කට්ටි පැන්න එකමය.. අප්පචචි මා ගස් බැද දිමි ගොටු ඇග පුරා නාවා ඇත්තේය... කෝටු කැඩෙන කම් ගැහුවත් මගේ කැලේපැනිල්ල නතර නොවුනි... මම ආසා කලේ අප්පච්චි එක්ක කුඹරු වැඩටමය.. මඩ මට සුවඳය...  අලුත් හාලේ බත උයා පන්සලට දානේ අරන් එලුවේ තියන් යන එක තරම් මගේ ජීවිතේ  වැදගත් එකදු රාජකාරියක් වත් ‍නොවුනි.. අප්පච්චි මෙන් බුලත් කෑමට ප්‍රිය කලෙමි.. අදටත් දත් කහ පැහැ ඇත.. අයියාමෙන් කමිසය කලිසමට වඩා සරමයි අමුඩයටයි ආසා කලෙමි... මා සතු මහා ධනයක් නැත.. කමීස ඇදිල්ල නම් පෙන්න බැරිය.. මේ මගේ ගමය මෙ ්මගේ ලොකයය.. සරම දෙකට නවා කැහැපොට ගහගන්නා මා වක් පිහිය පිට මැදට වෙන්න ඉ‍නේ රුවා ගනිමි.. දැන් කිසිවෙකුට බය නැත... ගෙයින් එලියට බැසි වේලේ පටන් මූනට මුන ගැහෙන දාස්පෙතියා අටපෙතියා අන්දර වැට වල් වැනි ගස් මල් පවා මා හදුනති... ආ අයියා.. ආ මල්ලි.. පුතේ.. මාමා.. යනුවෙන් කරන්නාවු ආමන්ත්‍රණ නතර වන්නේ හවසට ගෙට ගොඩ වූ පසුවය... මට මුදල් වැදගත් නැත.. තම්බා ගැනීමට ඕනෑ තරම් දේ වත්තේ ඇත.. මා සහේට ගෙනා ඇත්තීත් මට ඒ ගැන කරදර නොකරන්නීය.. මා හොදින් හදුනා ගත් ඈ මා එන විට මා ප්‍රියතම ආහාර වට්ටෝරුවක් වත්තෙන්ම සොයා තම්බා තියන්නීය.... දවල් වේලට හිතුනු ගෙයකට ගෙයකට ගොඩවන්නෙමි.. කොහේ ගියත් අසන්නේ "මල්ලි කාලද ආවේ නැතිනම් බත් ඩිංගක් කමු " කියාය....
මට වේලාවකට දුකත් සිතේ ... අයියා බැන්නෙ මේ ගමටය... විකිණුවේ මේ ගමේ කොටසක්ය... )
--- ආහ් ඔවු බං අයියයි පොඩි උනුයි අක්කයි එනවලු අනිද්දට...
**එහෙනම් උඹට ජය වෙයි ඈ... අපිට ආරංචි විදියට අයියට ජයයලු එහෙ..
---ජය යි ජයයි.. මගෙන් ඇහුව බන් මොනවද ගේනන්නෙ කියල... මට ඉතින් මොනවද බං එහෙන් ගන්න තියෙන්නෙ... අයියම කිවුව මට ෆොන් එකකුයි.. සපත්තු දෙකකුයි.. ඇදුම් ටිකකුයි ගෙන්නම් කියල... අනේ මන්ද බං..
**අම්මට සිරි ෆෝන් එකක් .. මරු බං ඈ... නියමෙට තියෙයි අයිය ඉතින් සල්ලි කාරයනෙ ඔය චයිනීස් කෑලි උසස්න් එන එකක් නෑ... අපිට නෑනෙ බං එහෙම අයියල.....
( වෙලාවක මට සතුටු හිතෙයි ගමේ උන්ට ඉරිසියාවය.. ඇත්තටම අයියා මට ෆොන් එකක ගේනවා යැයි කීවේය.. මම අයියාගේ මල්ලිය .. හොද එකක් ගෙනෙනු ඇත.. කාලෙකට පස්ස‍ෙ එන නිසා අම්මා නම් දැනටමත් අයියලාව පිලිගැනීමට වැඩකටයුතු සූදානම් කර ඇත )
***********************************************************
අයියා පිටත් කිරීමට වෙල ගොඩ වී කාරය ලගට බඩු මලු ඔසවාගෙන ගිය මම දරුවන්ගේ මුහුන නැවත සිඹිමි..
==පොඩි අප්පච්චිට අපි ආදරෙයි ඈ..උම්මා...
පොඩි කෙල්ල මා බදාගෙන කියන්න විය... වෙනදා නොදැනුන ආරයක් දැනෙන්ට වුනේ මේ සමුගන්නා විටදීය..
" එහෙමනම් මල්ලි අපි ගහින් එන්නම් ඈ..
-- හොදයි අක්කෙ බුදු සරණයි ආයෙ එන්න....
( ඔවුන්ව පිටත් කර නැවත නිවස බලා හැරුනේ වංගුවෙන් නොපෙනී ගිය පසුය.. ඒ එන අතර මග මට නොදැනිම හිරුද සේවය අවසන් කර පල්ලම් බසිමින් තිබුනේය.. නා ගත්තානම් හොදයැයි සිතුනේන පීල්ල පැත්තට ඇදුනෙමි... පීල්ල ලග කවුරුත් නැත.. උඩහ ගල වුඩ වාඩි වූ මම කල්පනා කරන්නට වීමි...
අයියා අවිත් ගියේය... මා කොතරම් සතුටින් හිටිවත් ඒ මහා බරක් මේන් දැනුනයි.. අයියා පැමිණ තිබුනේ තාත්තා මට නොදී අම්මාට ලියා ඇති ඉඩමේ කොටසක් ඉල්ලා ගැනීමටය.. ඒ ද විකුණා මුදල් කර ගැනීමටය.. දැන් ගෙදර ගිය පසු අම්මා, මා ගෙන් ඒ ගැන අසනු ඇත.. තවම අම්මාට දීමට මා ලග පිලිතුරක් නැත..ඒ අයියාහෝවේවා මේ ගම කොටස් කර විකුනනවාට මම අකමැති නිසාවෙනි.. මං මැරුණට පස්සෙනම් ඕන දෙයක් " ඒ දවස්වල මගේ අප්පච්චි කියූ දේම මටත් කීමට කල්පනා වෙයි.. මේ කිසිවක් ගෙනියන්නේ නැති බව ඇත්තය.. එහෙත් ඉන්නා තුරු මේවාට සැලකයි යුතුය..
"මම මහ පොලවට කවන්නෙමි පොවන්නෙමි බෙහෙත් කරන්නෙමි.... ඈ මට පෙරලා ධන ධාන්‍ය තෑගි කරනනීය මා ඒවා ආහාරය කොට ගෙන ජීවත් වන්නෙමි.." මීට වඩා සරළ වීමක් නැත.
එහෙත් අම්මටද කුමක් හො කිව යුතුය.. අම්මා නම් මාරය... ඒ කියද්දීත්..
ගෙදර තිබුනු එලවලු ටිකයි වී මලු දෙකකුයි පලා මිටි කිහිපයකුයි ගෝනියකට දමා බැද අයියාට දුන්නාය... ගහේ ඉදුනු අඹ සේරෝම කඩා ගැටගසා පොඩි දෙන්නාට දුනි..
==පොඩි අප්පචීචට නෑනෙ අත්තම්මි මේ ඔක්කොම අපිට දුන්නාම....
++ ආ ඌ කෝමත් ගස් ගෙඩි කඩන් කන එකානෙ ඌට ඒන තරම් තියෙනව උඹල අරං පලයල්ලකො....
( අම්මා එසේ කියද්දි මා බිරින්දෑ මා දෙස බලා සිනා සුනාය.. මාලගට විත් වාඩි වී සිටි මගේ උරහිසට අතක් තියා තද කලේ " කට වහන් ඉමු අපිට තියනවනේ " යන්න සලකුණු කිරීමට බව සිතා කරබාගතිමි....)
** ආ විමලෙ මොකෝ මේ කල්පනාවෙ නාන්නෙ නැද්ද...(සුනිමල්ය)
--- අහ් සුනිමල් නාන්න කියල ආවෙ පොඩ්ක්ක මේ හිටිය..
** අයියල ගියාද බං.. මම දැක්ක කාරෙකක් යනව ...
-- ඔවු අද ගියා...
** ඉතින් ඉතින්.. අයිය උඹට ෆොන් , ඇදුම් සපත්තු ඔරලෝසු ගෙනල්ලද ?
-- නෑ බං ... අයියල හදිසියෙනෙ බං ඇවිල්ල තියෙන්න... මුකුත් ගෙන්න ‍බැරි වෙලා..
** යකෝ සති දෙකකට කලින් කියල ඉවර වෙලා තියෙන හදිසිය මොකක්ද...
--- නෑ බං මේ වෙන හදිසියක් නිසා.... කෝම හරි කමක් නෑනෙ අයියව දැක්කනෙ මට ඒ ඇ... පවු බං කෙට්ටු වෙලා.. කරදර ඇති....
( සරම එතැනම ගලවා දැමූ මම අමුඩය පිටින් පීල්ල යටට පැන්නේ ගත මෙන්නම සිතත් සෝදා ගැනීමටය )
" අයියන්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ - ගිනි ඇවිලුනා කැණි මඩලට අපෙ නිවසේ
එක බත අනා එකටම කෑ පෙර දවසේ - මං අමතකද නුඹ රජ වූ අද දවසේ
.
අම්මා එක්ක දබරව පැන ගිය වැස්සේ - ළැම දා ගියා බත හිර වුනි කුසගින්නේ
දෑසේ කදුලු වැහි පොද ලෙස වෑහෙන්නේ - වී පෑලකට ඇයි නුඹ විරසක වේනනේ
.
ඉරට සැපක් ‍දෝ නියගය දළු ලෑම-  සඳට සැපක්දො ගනදුර පීදීම
නුඹට සැපක්දෝ අපි තනි කර යෑම - මහ පොලවකට නඩු හබ ඇයි ගතු කීම
-------------------------
--කුරුළු---

2 comments:

  1. හ්ම්ම්ම්.......
    මේවා කියෙව්වම හිතට දැනෙන ඒවා කුරුළු අයියට වගේ වචන වලට හරවන්න මට හරිම අමාරුයි.
    ඇත්තටම හරිම අව්‍යාජ සංකල්පනාවක් අයියේ.

    ReplyDelete
    Replies
    1. හිත එලියට එනව කඳුලු වලින්

      Delete